මිථ්‍යාව නැතිකොට සික් එකද?

අශාන් වීරසිංහ –

මිථ්‍යාව මිනිස්සුන්ගේ ජීවිතවලට පුදුමාකාර විදිහට බැඳී ඇති දෙයක්. සමහර තැන්වලදී ආගම කියන සාධකය පවා මිථ්‍යාවට යට වෙන හැටි බලාගන්න අපි අතරෙම තියෙන හොඳ උදාහරණයක් තමා එදිනෙදා ජීවිතවලදී තමන් ‘හොඳ බෞද්ධයන්’ බව හිතාගෙන ඉන්න බොහෝ අය පවා ඊට වඩා ඉහළ තැනක් මිථ්‍යාවට ලබා දෙන එක. ‘සැබෑ බුද්ධාගම’, ‘හරි බුද්ධාගම’ වගේ දේවල් හොයන්න යන එක තේරුමක් නැති වැඩක් වුණත් ‘බෞද්ධ ලෝකදෘෂ්ටිය’ හැටියට ජනප්‍රිය වෙලා තියෙන වටිනාකම් සහ මතවාද උඩින් පල්ලෙන් බැලුවත් අප සාමාන්‍යයෙන් ‘බෞද්ධ දර්ශනය’ ලෙස හඳුනාගන්නා චින්තන පද්ධතිය තුළ මිථ්‍යාදෘෂ්ටිය බරපතල ලෙස බැහැර කෙරෙන දෙයක් බව පහසුවෙන්ම පේනවා. ජ්‍යොතිශකාරයන් ඇතුළු මිථ්‍යාවට මිනිසුන් ඇන්දීමෙන් මඩිය තරකර ගන්නා ජාවාරම්කාරයන් සියලු දෙනාම පාහේ ඉතාම කපටි ලෙස කරන දෙයක් තමයි තමන්ගේ මිථ්‍යාව, ප්‍රෝඩාව බුද්ධාගම එක්කත් සම්බන්ධ කිරීම. මේක මරු උප්පරවැට්ටියක්. පන්සල්වල පවා බුදුන්ට නැති ඉඩක් නිතරම ලැබෙන්නේ දේවාලෙට. මේක අහඹු තෝරාගැනීමක් නෙමෙයි. බෞද්ධකම පිටට පෙන්නාගෙන ඉන්න බොහෝ අය තුළ තියෙන අන්ධ මිථ්‍යාභක්තිය අවදි කරවන්න පුළුවන් පහසුම උපක්‍රමයක් මේක. මිථ්‍යාව පස්සේ යන කෙනෙක් ඇත්තටම කොහොමද ‘හොඳ බෞද්ධයෙක්’ වෙන්නේ? ටිකක් කල්පනා කර බැලුවාම තේරෙන දේ තමයි මේ අයත්, ඔවුන්ගේ නොමඳ විවේචනයට ලක් වන අර ‘බුද්ධාගම විනාශ කරන්න හදන අය’ත් අතරේ කිසිම වෙනසක් නැති බව. බුද්ධාගමේ එල්ලලා විකුණගෙන කන මිථ්‍යාව ප්‍රශ්න කරන අය මේ අයට පහසුවෙන්ම පේන්නේ ‘බෞද්ධ විරෝධී නිරාගමිකයන්’, සරලවම කියනවා නම් ආගමක් ධර්මයක් නැති, සංස්කෘතියට හැමවෙලේම ගහන, චාරයක් නැති අපතයන් හැටියට. කොහොම වුණත් බුද්ධාගම ගැන මූලිකම කියවීමක් හෝ තියෙන කෙනෙකුට වැටහෙනවා ඇත්තම ‘අපතයන්’ කවුද කියන එක!

මිථ්‍යාව සංස්කෘතිකාංගයක්ද? කොහෙත්ම නෑ. සංස්කෘතිය කියන දේ පොදු හරපද්ධතියක්, චින්තන ලෝකයක් හැටියට වර්ධනය වෙන්නේ ශිෂ්ටාචාරය දිගේ මිනිසා ඉදිරියට ඇදීමත් එක්ක. ආදිම යුගවලදී මිනසාට තමන් වටපිටාවේ සිද්ධ වෙන දේවල් විද්‍යාත්මකව තේරුම් ගන්න අවශ්‍ය දියුණු බුද්ධියක් තිබුණේ නෑ. මේ නිසා සෑම ස්වභාවික සංසිද්ධියක්ම, ලෙඩරෝගයක්ම ඒ අය දෙවියන්ට හෝ යක්කුන්ට සම්බන්ධ කළා. ඒත් විද්‍යාවේ දියුණුවත් එක්ක, ඒ වගේම මිනිස් මොළයේ පරිණාමයත් එක්ක පසු කල් යද්දී තේරෙන්න ගත්තා මේ සියල්ලම අමුතු මැජික් නොවන බව. දියුණුව කරා යන මිනිස් ප්‍රජාවන් තවදුරටත් ඒ ආචීර්ණ කල්පික අදහස් හණමිටි කර තබාගෙන අන්ධයන් වගේ ජීවත් වුණේ නෑ. අද මිථ්‍යාව තමන්ගේ ජීවිතයේ, වඩාත් නිවැරදිව කියනවා නම් ශරීරයේම, කොටසක් හෙවත් ඉන්ද්‍රියයක් හැටියට පුදුමාකාර ආසාවකින් පෝෂණය කරන අය තමන්ගේ මෝඩකම වහගන්න නිතර ගේන තර්කයක් තමයි මේ සංස්කෘතික කාරණාව. විශේෂයෙන්ම විමලරත්න කුමාරගමගේ ‘අයියනායක’ කවි පන්තියේ එක කවියක් මේ අයගේ සුලභ ගැලවීමේ වාක්‍යය වෙලා තියෙනවා. කුමාරගමගේ සාහිත්‍ය භාවිතාව හා මානව දැක්ම ගැන අබමල් රේණුවක අවබෝධයක් මේ අයට නැති බව පහසුවෙන්ම පේන දෙයක්. මේ ගොඩක් අය කවි කියවන, කවිවලට ආසා කරන අය නෙමෙයි. හැබැයි කපටිකමට, එහෙමත් නැත්නම් කුහකකමට අර කවිය විතරක් කටපාඩම් කරගෙන තියාගෙන හැමතැනම වමාරනවා. ඒ අයට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගිහින් කොළඹ යුගයේ කවියත්, කුමාරගමගේගේ සාහිත්‍ය භාවිතයත් හදාරලා එන්න කියන එක.

කුමාරගමගේගේ මමත් ඉතාම කැමති ඒ කවිය පහතින්:

සංහිඳ ළඟ බාරයට කිරි  ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත්, නොකළෙමි එය ගැරහීම

මේ අයගේ මෝඩ තර්කයට අනුව මෙතන කුමාරගම කියන්න උත්සාහ කරන්නේ මේ වගේ අදහසක්: “ඔයාලා මිථ්‍යාවට කැමති නැත්නම් පාඩුවේ ඉන්න. හැබැයි ඒක විවේචනය කරන්න එපා. ඔයාලා ඒක විශ්වාස නොකළට කරන අය ඉන්නවා”. ඔය කවියෙත් අන්තිම පේළිය තමයි මෙයාලගේ උදාන වාක්‍යය. මේක එක අතකින් එයාලගේ බෞද්ධකම සහ සංස්කෘතිකවත්භාවය ගැනත් නියම ලිට්මස් පරීක්ෂණයක්.

කුමාරගම මෙතන කියන්න උත්සාහ කරන්නේ එහෙම මළදානයක් නෙමෙයි. කුමාරගම ගැන දන්න අය දන්නවා ඔහු වන්නියේ ආදායම් පාලක හැටියට රස්සාව කරපු, හොඳ වැටුපක් ලබපු රාජ්‍ය නිලධාරියෙක්. ඔහු ලිවුව කවි අති සම්භාරයක් ලියවුණේ වන්නියේ ජීවත් වෙන්න පුදුම සටනක් කරපු දුප්පත්, පීඩිත මිනිස්සුන්ගේ ජීවිත ගැන ඇති වුණ සහකම්පාවෙන්. ඔය උඩින් කී කවියෙ තියෙනවා වගේ මේ අය කරන්නෙ මිථ්‍යාවක් පස්සේ යන එක බව ඔහු දන්නවා. හැබැයි ඒ යුගයේ, ඒ නිශ්චිත භූ-ගෝලීය කලාපයේ මිනිස්සුන්ට එහෙම වෙන්න බලපෑ හේතු ඔහු නිවැරදිව වටහා ගන්නවා. ඒ මිනිස්සුන්ට අවශ්‍ය මිථ්‍යාව-විද්‍යාව අතරේ බෙදුම් රේඛාවක් අඳින්න නෙමෙයි. කොහොම හරි අද දවස ගෙවාගන්න. කැළේට යන මිනිහා සතෙකුට අහු වෙලා ගෙදර නාවොත් පවුලම සදා අනාතයි. ජීවිතේ හැම අහුමුල්ලකම රැඳිලා තියෙන්නේ පැවැත්ම පිළිබඳ පුදුම අවිනිශ්චිතභාවයක්. එහෙන් පාලක පන්තියේ අධික පීඩනය. මෙහෙන් මැරෙන්නැතුව ජීවත් වීමේ අවශ්‍යතාව විසින් පටවනු ලැබෙන දෛනික පීඩනය. මේ දෙක කළමනාකරණය කරගන්න අරගලයේදී වටපිටාවේ තියෙන හැමදේම ඇතුළේ තිබෙන ගුප්තසහගතභාවය ඒ අයට ජීවත් වෙන්න අවශ්‍ය ඉන්ධන, ගාමක බලය සපයනවා. මේ සෑහෙන කාලකෙට ඉස්සර. හැබැයි මේ කවිය උඩ දාගෙන අද මිථ්‍යාව රකින්න හදන ගොඩක් අය ඉන්නේ වන්නියේ නෙමෙයි. වැඩි දෙනෙක් කොළඹ සහ තවත් නාගරික ප්‍රදේශවල. ඔෆිස්වල රස්සාවල් කරන, ස්මාර්ට් ෆෝන්, ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අය. බොහෝ දෙනා මධ්‍යම පාන්තික ජීවිත ගෙවන අය. වන්නියෙ මිනිස්සුන්ට වගේ ඒ අයට ප්‍රශ්න නෑ. හැබැයි එයාලම හදාගත්ත සුවිශේෂී ප්‍රශ්න රාශියක් එයාලට තියෙනවා. මේ කියන සන්දර්භය ඇතුළේ කුමාරගම වන්නියේ මිනිස්සුන්ගෙ මිථ්‍යාදෘෂ්ටියට අනුකම්පා කළාට, එය නූගත් භාවිතයක් වුණත් අවඥාවට ලක් නොකළාට, ‘උගත්’, සහ ‘සමාජ තත්ත්වයෙන් සාපේක්ෂව ඉහළ’ කියන තැන ඉඳන් මිථ්‍යාවට කඩේ යන අයට නම් කුමාරගම වුණත් පස්සා පැත්තෙන් හිනා වෙනවා සහතිකයි. ඒක හුදු හිතළුවක්  නෙමෙයි. ඒකයි මම කියන්නෙ, මිථ්‍යාව ගොඩ දාන්න කවි පේළි කටපාඩම් කරන්න කලින් කවිය සහ සාහිත්‍යය කියවන හැටි ඉගෙනගෙන එන්න කියලා. කුමාරගම ලියපු අනිත් හැම කවියක්ම හොයාගෙන කියවලා බැලුවාම කුමාරගම ඇත්තටම හිටගන්නේ කාගේ පැත්තෙද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. වන්නියේ මිනිසාට සාපේක්ෂව ගත්තම කුමාරගමගේ නිර්දය විවේචනයට ලක් වන නිලධාරි පැළැන්තිය, ‘ඉහළ’ යැයි පේන්න තියෙන තලවල ජීවත් වෙන මිනිස්සු, ඒ අය නිසා වන්නියේ අහිංසක ගැමි ජීවිත හූරාකෑමට ලක් වෙන ආකාරය ගැනත් ඔහුම ලියපු කවි ටිකක් කියවලා එන්න කියන එක හැර වෙන දෙයක් ඒ අයට කියන්න ඉතුරුවෙලා නෑ. කුමාරගම කවදාවත් මිථ්‍යාව ප්‍රවර්ධනය කළේ නෑ. ඒ නිසා දැන් ඔය කවි පේළිය තමන්ගෙ මිථ්‍යාදෘෂ්ටික හෙළුවැල්ල වහන ඉරිච්ච රෙද්ද බවට හරවාගෙන, අර මහා මානව දයාවක්, සමාජ දැක්මක් තිබුණු ශ්‍රේෂ්ඨ කවියාට අපහාස කරන එක දැන්වත් නවත්වන්න! එක අතකින් පුදුමෙකුත් නැත්තේ තමන් අදහන ආගමේ ශාස්තෲවරයාගෙම රෙදි මේ ඊනියා දායක සභාව විසින්ම පුනපුනා ගැලවෙන නිසයි. බුදුන්ටත් එහෙම නම් කුමාරගම ගැන කවර කතාද!

අනිත් කාරණේ තමයි මිත්‍යාවට ගහන එකයි සංස්කෘතියයි පටලවා ගන්න එපා කියන එක. සංස්කෘතියක තියෙන ලස්සන හැමවෙලේම විද්‍යාත්මකව පරීක්ෂා කරන්න කියලා මම නම් කොහෙත්ම කියන්නෙ නෑ. සංස්කෘතියේ විචිත්‍ර අංග, සමහර චාරිත්‍ර, සම්ප්‍රදායයන්, කලා කතිකා වගේ දේවල් දිහා එහෙම බලන්න බෑ. උදාහරණයක් විදිහට මිනිස්සු අලුත් අවුරුද්දට චාරිත්‍ර කරන එක වගේ දේවල් මට නම් පේන්නෙ ලස්සන පොදු බවක් තාවකාලිකව හරි අපට ගේන පුරුදු හැටියට. මේ ගෙවන ජීවන රටාව අස්සේ පොඩි වෙලාවකට හරි මිනිස්සුන්ට එකට එකතු වෙන්න ඉඩකඩ ඒ වගේ දේවල් නිසා ලැබෙනවා. බොනකොට අපි ‘චියර්ස්’ කියන්නෙ ඒකෙන් බීමට දායකත්වයක් ලැබෙන නිසා නෙමෙයි. ඒක බීමට අදාළ චාරිත්‍රයක් වගේ වෙලා නිසයි. අලුත් අවුරුද්දෙ කතාවත් ඒ වගේ. මේ දක්වාත්, මින් ඉස්සරහටත් ලියවෙලා තියෙන සහ ලියවෙන දේවල් ඒ කාරණය පැහැදිලි කරයි කියා හිතනවා. ඒ නිසා මේ අය නැට්ට පාගාගෙන අනවශ්‍ය කලබලෙන් කෑ ගැහුවාට මිථ්‍යාවට ගහන අපි සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්නෙ නෑ කියන එක එයාලට තේරුම් නොයන එකම එක අතකින් මිත්‍යා-විරෝධී අරගලය කරගෙන යන්න අපිට උදවු කරනවා කියන එකත් අපූරු සම්බන්ධයක්. සිදුවීමක් නැතුව ප්‍රතිරෝධයක් දක්වන්නෙ කොහොමද! සංස්කෘතිය කියන වචනයේ නිරුක්තියේ ඉඳන් සලකලා බැලුවම ‘යහපත් වූ කෘත්‍යය’යන්හි  පොදු බව කියන අදහස ගම්‍ය වෙනවා. මිනිස්සු කරන හැම ක්‍රියාවක්ම සංස්කෘතියට අයත් නොවන්නේ ඒ නිසයි. මේ හේතුව නිසාම මිථ්‍යාව පස්සේ යන එක අන්තිම ගෝත්‍රික, අසංස්කෘතික අවලස්සනක්, අසික්කිතකමක් බව පැහැදිලි වෙනවා.

කොහොමත් සංස්කෘතිය, ආගම, ඉතිහාසය වගේ කතිකා මිථ්‍යාලෝලී ලෙඩ්ඩුන්ට බළල් අත් වගේ. ඒ අයත් දන්නවා මිථ්‍යාව කියන්නේ අමණ භාවිතයක් කියන එක. ඔච්චර ඉගෙනගෙන බරසාර කයියවල් ගහන්න තියෙන මොළේ ඒ ඩිංග තේරුම් ගන්න නැතිවෙන්න බැහැනේ. හැබැයි ඒ විළිලැජ්ජාව වහගන්න කරන අන්ත අසරණ, මෝඩ වැඩක් තමයි මේ ඡේදයේ ඉහත කී සංකල්පවලින් එවා දැවටීම. මිථ්‍යාව ආගමේ, සංස්කෘතියේ සහ ඓතිහාසික උරුමය කියන එකේ නෛසර්ගික ලක්ෂණ හැටියට මවා පෙන්වීම. ඒක එක අතකින් අන්තිම කුහක වැඩක්. මොකද, එහෙම කළාම, මිථ්‍යාව ප්‍රතික්ෂේප කරන අය ‘සංස්කෘතියක්, ආගමක් නැති’ කුලකයට දාලා හෙළා දකින එකෙන් තමන්ගේ මිථ්‍යාකාමී කල්ලි අස්සේ ගොබ්බ ආතල් එකක් ගැනීමේ ඉඩ ලැබෙන නිසා.

ඊළඟට කියන්න යන්නේ ගුටිකන්න නියමිත කතාවක්. ලංකාවේ පොප් බෞද්ධයන්ගේ ලෝකයේ වීරත්වයක් ලැබෙන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි කියන්නෙත් බුද්ධාගමට සම්පූර්ණයෙන්ම පටහැනි මිථ්‍යාදෘෂ්ටිය සමාජගත කරන්න දායක වුණ කෙනෙක්. උන්වහන්සේගේ ආගමික දැනුම අති විශිෂ්ටයි. බොහොම සිල්වත් හිමිනමක්. ගරු කළ යුතුයි. හැබැයි ඒ කොයික වෙතත්, බුදුන්ට වඩා උඩින් කෙනෙක් බුද්ධාගමේ ඉන්න විදිහක් නෑ. බුද්ධ චින්තනය බුදුන්ගේ. ඒක එඩිට් කරගන්න හදන්න එපා! බුදුන් පැහැදිලිවම කිවුවේ මිථ්‍යාවෙන් අයින් වෙන්න, ප්‍රඥාව කරා යන්න කියලා. කාලෙකට උඩදි යාළුවෙක් කියපු කතාවක් මතක් වෙනවා: “මේ තුන් ලෝකෙම ඉන්න ආගමික නායකයො ගත්තත් බුදු හාමුදුරුවන්ට තරම් කෙළවුණේ නෑ කාටවත්. ඇටෙවුවනෙ මේකෙම!”. ඔය ධාරාණිපාත වාර්ගික-බෞද්ධයො සෙට් එක අදටත් කරගෙන යන්නෙ ඒ කෙළවීමම තමයි කියන එක එයාලා එළිපිට පිළිගන්න අවශ්‍ය නෑ. එතකොට කොහොමත් රෙදි ගැලවිලා පීචං වෙලා යන නිසා. එහෙම අපරාද තමන්ටම කරගන්න එපා දෙයියනේ! හැබැයි, හෘදය සාක්ෂියක් කියලා නාමයක් හරි තියෙනවා නම් රෑ ඇඳට ගිහින් නින්ද යනකල්, එහෙමත් නැත්නම් අවිඥානයයි විඥානයයි අතර ඉම බොඳ වුණ වෙලාවට ඒ වරදකාරී හැඟීමෙන් ගැලවෙන්න එයාලට බෑ. අන්න ඒ නිසයි පහුවදාම නැගිටලා බුකියට ඇවිත් මිථ්‍යාව සාධාරණීකරණය කරන්න මහන්සි වෙන්නෙ. පොඩි හරි සහනයක් එයාලා ගන්නෙ ඒකෙන්. පවු! ඇත්තටම මේ මිනිස් ශරීර පවු!!!

ඒ නිසා, අබෞද්ධ-නිරාගමික’ අයගේ අම්මලාගේ දුකසැප හොයන්න කලින් තමන් බෞද්ධ වෙලා ඉන්න. බුද්ධාගමේ මිථ්‍යාවට ඉඩක් නෑ. මිථ්‍යාව උඩදාගෙන දඟලන අය බෞද්ධත් නෑ. මේ නිශ්චිත සටහනේ සන්දර්භය ඇතුළේ කමේන්ට්ස් වුණත් මේකට සම්බන්ධ වෙන ආකාරය සියුම්ව හිතන්න ඕන දෙයක්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )